ඊ-ග්‍රාම නිලධාරී ව්‍යාපෘතියේ මෘදුකාංග සංවර්ධන හා විවිධ කටයුතු සඳහා රුපියල් එක්කෝටි පනස් තුන් ලක්ෂයකට අධික මුදලක් වැය කර ඇතත්, ඊට අදාළව ග්‍රාම නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු කර නැතැයි තොරතුරු අනාවරණය වේ. මේ හේතුව මත වහාම ස්වාධීන කමිටුවක් පත්කර පරීක්ෂණයක් සිදුකර ඊට වගකිවයුතු නිලධාරීන්ගෙන් අලාභය අය කිරීමට අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය තීරණය කර ඇත.
ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරන ලද විගණන විමසුමේදී අනාවරණය වී ඇත්තේ 2021 වර්ෂය සඳහා වූ ප්‍රසම්පාදන සැලහේමෙහි ව්‍යාපෘතියේ මෘදුකාංග සංවර්ධනය වෙනුවෙන් සන්නිවේදන සහ ප්‍රචාරණය සඳහා වූ අවශ්‍ය අයිතම නිර්මාණය කිරීම ඇතුළත් කර නොතිබූ බවය.
එමෙන්ම, සන්නිවේදන සහ ප්‍රචාරණය හා ඊට අදාළ දෑ සපයා ගැනීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදන මණ්ඩලයේ දැනුවත් වීමකින් තොරව ඍජුවම “සැලසිනේ” ආයතනයෙන් මිල ගණන් ලබාගෙන ඇති අතර එම ආයතනය සමඟ විධිමත් ගිවිසුමක් අත්සන් නොකර රුපියල් එක්කෝටි තිස්නව ලක්ෂයකට අධික අතිකාරමක් එම ආයතනයට අමාත්‍යාංශයෙන් ගෙවා තිබෙන බවද අභ්‍යන්තර විගණන පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
එමෙන් ම, ඉකුත් 2021 වසරේදී මෙම ව්‍යාපෘතියට අදාළව මිලදී ගන්නා ලද රුපියල් දෙකෝටි විසිහත් ලක්ෂයකට අධික මුදලක් වැය කර මිලදී ගත් කළු ජෙල් පෑන් ලක්ෂ හතරක් සහ විශේෂිත ෆයිල් කවර හා බෑග් විසිඑක්දාහක්(21,000) වසර තුනකට වැඩි කාලයක් තිස්සේ කිසිදු නිලධාරියෙකුගේ භාරකාරත්වයෙන් තොරව අනාරක්ෂිත ලෙස ගබඩා කර ඇතැයිද අනාවරණය වේ.
චන්දන සමරවික්‍රම